අරුණි සහෝදරිය පසුගිය සතියක තම ලිපිය ආරම්භයේම දක්වා සිටියේ ෆිදෙල් යනු කියුබානු විප්ලවය පාවාදුන්, අහිංසකයන් වෙඩි තබා මරා දැමූ මිනීමරුවෙක් ලෙසටය. ඇයම පැවසූ ආකාරයට අන්තර්ජාලයේ තොරතුරු අනුව 1959ට පෙර සාමාන්‍ය කියුබානු වැසියන්ගේ ජීවන තත්ත්වයත්, දැඩි ආර්ථික සම්බාධක හමුවේ වර්තමාන කියුබානු වැසියන්ගේ ජීවන තත්ත්වයත් සලකා බැලීමෙන්ම ඔහු සිදුකර ඇති වෙනස වැටහෙනු ඇත.
ඇයට අනුව අමෙරිකානු ආක්‍රමණයනට විරුද්ධව ක්‍රියා කිරීම නොවැදගත් කාරණයක්ද? 1981 ඇන්ගෝලාවට කියුබානු හමුදාව මුදලට හෝ යැවීම ඉතාම නින්දිත ක්‍රියාවක් නම්, වර්තමානයේ ශ්‍රී ලංකික හමුදාවන් ලෝකය පුරා මාසික වේතනයකට සාමසාධක කටයුතු කිරීම කුමන ආකාරයක ක්‍රියාවක්ද යැයි මම ඇයගෙන් අසමි.
ඔහු මේ සියලු දේ කරන ලද්දේ ඔහුගේ පෞද්ගලික සුඛවිහරණයට මුදල් ලබාගැනීමට යන්න ඇයගේ අදහස බව පෙනේ. එසේ නම් වර්තමානයේ සියලුම කියුබානු වැසියන්ට නොමිලේ සෞඛ්‍යය හා අධ්‍යාපනය ලබාදෙන්නේ කුමන ආකාරයේ උපයාගත් මුදල්වලින්ද? ඩොලර් මිලියන 800ක වත්කම් තිබූ ෆිදෙල් ආර්ථික සම්බාධකවලින් පිරි කියුබාව තුළම රැඳී සිටියේ කුමන හේතුවක් නිසාද යන්න අරුණිටම පැහැදිලි කළ හැකිය.
අරුණිට අනුව වෘත්තිකයන් විදේශ ගතකර ඩොලර් බිලියන 8.2 ලබාගැනීම වහල් සේවයකි. ඇයත් ජිවත්වන මේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගය මැදපෙරදිග රටවල නිවාසවල මෙහෙකාර සේවයේ යෙදෙන අපේම අම්මලා අක්කලා උපයන මුදල්ය. මා දකින ආකාරයට නම් ෆිදෙල් ඇති කරන ලද විප්ලවය මෙයයි. අප තාමත් 18 වැනි සියවසේ මෙන් නියම මිනිස් වහල් වෙළෙඳාමෙන් මුදල් උපයන විට, කියුබාව අපට වඩා ආදායමක් නිවැරදි වෘත්තිකයන් හරහා ලබාගනියි.
ඉරාකය, ලිබියාව, ඊජිප්තුව වැනි ඒකාධිපති පාලකයන් ජනතාව විසින් අවුරැදු 20ක් 30ක් වැනි කාලයක් තුළ එළවා දැමීමත්, වසර 60ක් පුරාවට කියුබාව තුළින් එවැනි ජන රැල්ලක් ඇති නොවීමටත්, මූලිකම හේතුව වන්නේ කියුබානු රජය, ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීම නිසා නොවේද? වර්තමානය වන විට කියුබාව තුළ සමාජ ජාල ඇතුළු සියලුම අන්තර්ජාල සේවාවන් ක්‍රියාත්මක වන විටත් අරාබි වසන්තයක් කියුබාවට නොඑන්නේ කුමන හේතුවක් නිසාද යන්න අරුණිම සිතා බැලිය යුතුය. ෆිදෙල් යනු හුදෙක් සමාජය දෙස වෙනස් ආකාරයකින් බලා අනාගතය වෙනුවෙන් තීරණ ගත් රටක පාලකයෙක් යන්න මගේ පෞද්ගලික අදහසයි.
• සචිත් නාලක මුහන්දිරම්